ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ලබන බදාදා (29) දින වන විට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ වගකිවයුතු පාර්ශව විසින් කරන ලද දැනුම්දීමකට අනුව බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්, හිටපු ක්‍රීඩකයන් මෙන්ම විවිධ පාර්ශව වෙතින් දැඩි විවේචන එල්ල විය. එම විවේචන සහ පවතින පීඩනය හමුවේ ෂම්මි සිල්වා මහතාට ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.














