යාපනය ඇමරිකානු පියස (American Corner Jaffna – ACJ) ස්ථාපිත කර වසර 15ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (26) යාපනයේදී පැවැත්විණි. උතුරු ශ්‍රී ලංකාවේ ජනතාව සහ එක්සත් ජනපදය අතර සබඳතා ශක්තිමත් කරමින් පසුගිය දශක එකහමාරක කාලය තුළ එම මධ්‍යස්ථානය ඉටු කළ සුවිශේෂී මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් විය.
එක්සත් ජනපදය සිය නිදහසේ 250 වන වසර සැමරීම නිමිත්තෙන් ක්‍රියාත්මක ගෝලීය “Freedom 250” වැඩසටහනට සමගාමීව, යාපනය මධ්‍යස්ථානය තුළ අලුතින් ඉදිකළ “Freedom 250 Pavilion” අංගනය ද මෙහිදී විවෘත කෙරිණි.
2011 වසරේදී යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමඟ හවුල්කාරිත්වයෙන් ආරම්භ වූ මෙම මධ්‍යස්ථානය, උතුරු ප්‍රදේශයේ තරුණ පිරිස් වෙත ඉංග්‍රීසි භාෂා පුහුණුව, අධ්‍යාපනික උපදේශන සහ නායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන් රැසක් නොමිලේ ලබා දෙයි. 2025 වසර තුළ පමණක් පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් වැඩසටහන් 400කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට එක් වූ මේනකා නායර් මහත්මිය සඳහන් කළේ යාපනය ඇමරිකානු පියස හරහා ඇමරිකානු සංස්කෘතිය, වටිනාකම් සහ අදහස් ශ්‍රී ලාංකික ජනතාව සමඟ බෙදා ගැනීමට එක්සත් ජනපදය දක්වන අඛණ්ඩ කැපවීම මෙයින් පිළිබිඹු වන බවයි. නල්ලූර් ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය දැනුම සහ නවෝත්පාදන සොයා යන උතුරේ ජනතාවට විවෘත වේදිකාවක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වේ.














