ඇමරිකාවේ වොෂිංටන් නුවර හෝටලයකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ‘ප්‍රතිපත්ති ප්‍රකාශය’ ඇතුළත් ඊමේල් පණිවිඩයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නැමැති සැකකරු සිය පවුලේ ඥාතීන්ට යැවූ ඊමේල් පණිවිඩයක සඳහන් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් සිය ඉලක්කය වූ බවයි. කෙසේ වෙතත් FBI ප්‍රධානී කෑෂ් පටෙල් තමන්ගේ ඉලක්කයක් නොවන බව ඔහු එහි අවධාරණය කර ඇත. රැඳවුම් කඳවුරුවලදී අපයෝජනයට සහ අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටීම සිය අරමුණ වූ බව සැකකරු පවසා තිබේ.
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් හෝ පොලිසිය තමන්ගේ ඉලක්කය නොවන බව සැකකරු ප්‍රකාශ කර තිබුණ ද පසුගිය 26 වනදා සිදුවූ වෙඩි තැබීමෙන් එක් ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබීය. ඔහු වෙඩි නොවදින කබායක් පැළඳ සිටි බැවින් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. සැකකරු සන්තකයේ තිබී ගිනි අවි දෙකක් සහ තියුණු ආයුධ කිහිපයක් සොයාගත් බව වැඩබලන නීතිපති ටොඩ් බ්ලාන්ච් සඳහන් කළේය.
ධවල මන්දිර වාර්තාකරුවන් ඇතුළු 2,500ක පමණ පිරිසක් සහභාගී වූ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුවිය. විශේෂත්වය වන්නේ මීට වසර 45කට පෙර එවක ජනාධිපති රොනල්ඩ් රේගන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුවූයේ ද මෙම හෝටලයේදීම වීමයි. වෙඩි හඬ ඇසීමත් සමඟ ආරක්ෂක නිලධාරීන් වහාම ජනාධිපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.














