ශ්‍රී ලංකාවේ ධාවනය වන දුම්රියවලින් 80%කට ආසන්න ප්‍රමාණයක තාක්ෂණික දෝෂ පවතින බවත්, එබැවින් දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමටත් වේග සීමා නීති දැඩිව අනුගමනය කිරීමටත් තීරණය කළ බව ලොකොමෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දුම්රිය ගමන් වාර ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවට වෘත්තිය සමිති අනතුරු අඟවයි.
පසුගියදා බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා දුම්රිය පීලි පැනීමට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි රියදුරු ඇතුළු කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති මෙම පියවර ගෙන ඇත.
ස්වාධීන වෘත්තිය සමිති ඒකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා පෙන්වා දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අමතර කොටස් හිඟය, මාර්ග නඩත්තු නොකිරීම සහ සංඥා පද්ධතිවල පවතින අඩුපාඩු හේතුවෙන් රියදුරන්ට දැඩි අවදානමක් ගෙන දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇති බවයි.ලොකොමෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ ඇතැම් දුම්රියවල වේග සීමා මීටර් පවා නොමැති බවයි. දුම්රිය නඩත්තු කිරීම සඳහා දෙපාර්තමේන්තුවට යම් කාලසීමාවක් ලබා දෙන බවත්, ඉන් පසුවද නිසි නඩත්තු සිදු නොවුණහොත් දෝෂ සහිත එන්ජින් ධාවනය කිරීම සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය මත දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වළක්වා ගැනීමට බලධාරීන් කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බව මගී ජනතාව ඉල්ලා සිටිති.














