2026 නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් ඉදිකළ තාවකාලික කඩ කාමරවලින් බැහැර කරන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් නුවරඑළිය නගර මධ්‍යයේ දැඩි පාරිසරික ගැටලුවක් මතු වී තිබේ.
නුවරඑළිය නගර සභාවේ අනුමැතියකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් ටෙන්ඩර් පදනම මත මෙම තාවකාලික කඩ කාමර ලබා දී ඇති අතර, මේ හේතුවෙන් එම කඩවලින් ඉවත් කරන කසළ ඉවත් කිරීම නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. ටෙන්ඩර් ගාස්තුවෙන් 25%ක මුදලක් නගර සභාව විසින් ඉල්ලා ඇති නමුත්, එවැනි මුදලක් ගෙවීමට තමන්ට බලතල නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සඳහන් කරයි.
ආයතන දෙක අතර පවතින මෙම පරිපාලනමය ගැටුම හේතුවෙන් තමන්ට පානීය ජලය හෝ වැසිකිළි පහසුකම් පවා මෙවර ලැබී නොමැති බව වෙළෙන්දෝ පවසති. නගර සභාව විසින් කසළ ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා ඇති අතර, පවතින තත්ත්වය මත සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගර මධ්‍යය මේ වන විට අපවිත්‍ර වී පවතින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. කෙසේ වෙතත්, සාකච්ඡා මාර්ගයෙන් මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.










