පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිය නිවස සම්පූර්ණයෙන්ම විනාශ වූ කටුවන ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු, තමන්ට හිමිවූ සොච්චම් වන්දි මුදලට එරෙහිව අද (27) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් තක්සේරු කර ඇත්තේ රුපියල් 8,500ක මුදලක් පමණක් බව එම පියා පෙන්වා දෙයි. වත්මන් වෙළෙඳපොළ මිල ගණන් යටතේ එම මුදලින් නිවසක් තැබියැවූ ඇඳුමක් පවා මිලදී ගත නොහැකි බවත්, එවැනි මුදලක් වන්දි ලෙස පිරිනැමීම තමන්ට කරන සමච්චලයක් බවත් ඔහු පවසයි.
කුණාටුවෙන් නිවස අහිමි වීමෙන් පසු මේ දක්වා තම දරුවන් තිදෙනා සමඟ කුලී කාමරයක අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන බව ඔහු සඳහන් කළේය. පවතින ආර්ථික අපහසුතා සහ ජීවනෝපාය අහිමි වීම හේතුවෙන් සිය දරුවන්ට අද වනතුරුත් පාසල් යාමට පවා නොහැකි වී ඇති බව ඔහු ඉතා සංවේගයෙන් යුතුව අනාවරණය කළේය.
තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් සහ නිවස යළි ඉදිකර ගැනීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දීමට මැදිහත් වන ලෙස ඔහු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.











