අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි කරුණු පැහැදිලි කිරීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. අලි ඇතුන් ජාතික වස්තුවක් ලෙස සලකා ඔවුන් ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමක් බව මෙහිදී අධිකරණය දැඩිව සිහිපත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. ‘අලි ඇතුන් සුරැකීමේ සංගමය’ විසින් ගොනු කරන ලද මෙම රිට් පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ඉදි කර ඇති විදුලි වැටවල් නියමිත ප්‍රමිතියෙන් තොර බවත්, නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමට රජය නිසි පියවර ගෙන නොමැති බවත්ය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පෙන්වා දුන්නේ අලි වැටවල් සඳහා තිබිය යුතු නියමිත වෝල්ටීයතාවය බොහෝ වැටවල්වල නොමැති බවයි. එමෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට බලධාරීන් දක්වන මන්දගාමී පිළිවෙත නිසා ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇති බව ඇය අවධාරණය කළාය.
අලි ඇතුන් පොදු දේපළක් මෙන්ම ජාතික වස්තුවක් බැවින් ඔවුන් ආරක්ෂා කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස සැලකිය යුතු බව විනිසුරු රෝහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීමට ගත් පියවර, නීති විරෝධී විදුලි වැටවල් නියාමනය සහ ඒවා ඉවත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය.













