ඇමරිකානු ජාතික උද්‍යාන සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර තිබූ ස්කොට් සෝචාගේ නාම යෝජනාව ධවල මන්දිරය විසින් නිල වශයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ. සෙනෙට් මණ්ඩලය වෙත නාම යෝජනාව ඉදිරිපත් කර මාස දෙකකට පසු ගත් මෙම හදිසි තීරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැතත් සංචාරක ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු වන සෝචාට එරෙහිව පරිසර සංරක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මීට බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ. රාජ්‍ය අංශයේ පළපුරුද්දක් නොමැති වීම මෙන්ම ඔහුගේ පෞද්ගලික සමාගම මීට පෙර ජාතික උද්‍යාන සේවයට එරෙහිව නඩු පවරා තිබීම ද මෙම පත්වීම මතභේදයට තුඩු දීමට හේතුවක් විය.
දැනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාතික උද්‍යාන සේවයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ජෙසිකා බෝව්රොන් කටයුතු කරන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ජාතික උද්‍යානවල ඓතිහාසික පුවරු සහ ප්‍රදර්ශන කුටි සමාලෝචනය කිරීමට ගත් පියවර මේ වන විටත් දැඩි කතාබහට ලක්ව පවතී. විශේෂයෙන්ම වහල්භාවය සහ ස්වදේශික ඇමරිකානුවන්ගේ ඉතිහාසය පිළිබඳ පුවරු ඉවත් කිරීමට ගත් උත්සාහයන් අධිකරණ නියෝග හමුවේ පසුබෑමට ලක් වූ අතර ඇමරිකානු විරෝධී මතවාද පතුරුවන බව පවසමින් ඓතිහාසික තොරතුරු වෙනස් කිරීමට ගන්නා උත්සාහයන්ට මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන්නේ දැඩි දෝෂදර්ශනයකි. මෙම නවතම නාම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමත් සමඟ ඇමරිකාවේ ස්වභාවික උරුමයන් කළමනාකරණය කරන ජාතික උද්‍යාන සේවයේ අනාගත නායකත්වය පිළිබඳව යළිත් අවිනිශ්චිතතාවයක් හටගෙන ඇත.














