එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී දකුණු චීන මුහුදේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ජපානය සහ යුරෝපා සංගමය කළ ප්‍රකාශයන් චීනය දැඩි ලෙස හෙළා දැක තිබේ.
සාගර ආරක්ෂාව පිළිබඳ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අයනෝ කුනිමිට්සු (Ayano Kunimitsu) මහත්මිය ප්‍රකාශ කළේ, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ පවතින තත්ත්වය පිළිබඳව ටෝකියෝව දැඩි සැලකිල්ලකින් පසුවන බවයි. බලය යොදා පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ නාවික හා ගුවන් ගමන් නිදහසට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට ජපානය විරුද්ධ වන බව ඇය යළි අවධාරණය කළාය. යුරෝපා සංගමය ද මෙහිදී ජපානයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේය.
ජපානය සහ යුරෝපා සංගමය එල්ල කළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ චීනය, ජපානය තායිවාන සමුද්‍ර සන්ධිය තුළ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන බවට චෝදනා කළේය. ජපානය සිය මිලිටරි බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බවත්, මෙවැනි ප්‍රකාශ හරහා කලාපීය සාමය පළුදු කරන බවත් චීන නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
දකුණු චීන මුහුදේ වැඩි බලයක් තමන් සතු බවට චීනය දිගින් දිගටම ප්‍රකාශ කරන අතර, එය ජපානය, පිලිපීනය සහ වියට්නාමය වැනි කලාපීය රටවල් සමඟ මෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ ද ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.














