පවතින සටන් විරාම ගිවිසුම් මධ්‍යයේ වුවද, හිස්බුල්ලා සංවිධානයේ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර තවදුරටත් ප්‍රධාන තර්ජනයක්ව පවතින බැවින් ලෙබනනය තුළ මිලිටරි ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා අවධාරණය කරයි.
ඇමෙරිකානු මැදිහත්වීම මත අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක වූ දස දින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා පියවර ගත්තේය. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා විසින් සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හිස්බුල්ලා සංවිධානය ඊයේ (27) දිනයේදී දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල ටැංකි සහ බුල්ඩෝසර් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
ලෙබනන ජනාධිපති ජෝසෆ් අවුන් (Joseph Aoun) මහතා ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීම “ද්‍රෝහීකමක්” නොවන බවයි. සැබෑ ද්‍රෝහීකම වන්නේ විදේශීය අවශ්‍යතා (ඉරානය) වෙනුවෙන් රට යුද්ධයකට ඇද දැමීම බව පවසමින් ඔහු හිස්බුල්ලා සංවිධානයට දැඩි වාචික ප්‍රහාරයක් එල්ල කළේය.
මේ අතර, හිස්බුල්ලා නායක නයිම් කාසෙම් (Naim Qassem) මහතා ඊශ්‍රායලය සමඟ පවතින සෘජු සාකච්ඡා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඒවා “නින්දිත පාවාදීමක්” ලෙස හඳුන්වා දී ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් (Israel Katz) මහතා අනතුරු අඟවන්නේ හිස්බුල්ලා සංවිධානය සාකච්ඡා මාර්ගයෙන් බැහැර වුවහොත් ලෙබනනයට විනාශකාරී ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවයි.
දශක කිහිපයකට පසු දෙරටේ තානාපතිවරුන් වොෂින්ටනයේදී හමුවී ඇති පසුබිමක, හිස්බුල්ලා සංවිධානය සිය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලාපීය සාමය තවදුරටත් අවදවුලක පවතී.














