ඉතාලිය පුරා අධිවේගී ෆයිබර් (Fibre) අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා එරට ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් දෙකක් වන FiberCop සහ Open Fiber නව වාණිජ ගිවිසුමකට එළඹීමට සූදානම් වන බව වාර්තා වේ. ඇමරිකානු KKR අරමුදල සහ ඉතාලි රජය ප්‍රධාන ආයෝජකයින් වන FiberCop සමාගම සහ ඔස්ට්‍රේලියාවේ Macquarie සමාගම හවුල්කාරීත්වය දරන Open Fiber සමාගම මෙලෙස එක්ව කටයුතු කිරීමට සාකච්ඡා පවත්වන්නේ ව්‍යාපෘතියේ පිරිවැය අවම කර ගනිමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණිනි.
මීට පෙර මෙම සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට (Merger) උත්සාහ කළ ද විවිධ නීතිමය සහ මූල්‍යමය බාධාවන් නිසා එය අසාර්ථක විය. ඒ වෙනුවට දැන් යෝජනා වී ඇත්තේ එක් එක් සමාගම තෝරාගත් ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කර පසුව ඒවා එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් සේවා සැපයීමටයි. ඉතාලි රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම නව සැලසුම හරහා දැනට යුරෝපීය මට්ටමට වඩා පසුපසින් පවතින ඉතාලියේ අන්තර්ජාල ආවරණය කඩිනමින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් වෙළඳපොළ තරගකාරීත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නියාමන ආයතනවල දැඩි අධීක්ෂණය ද හිමිවනු ඇත.














