මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ මෙය කිසිදු අධි-තාක්ෂණික ක්‍රමවේදයක් හෝ Firewall පද්ධතියක් බිඳ දැමීමකින් තොරව සිදු වූ ඉතා ප්‍රාථමික මට්ටමේ රැවටීමක් බවයි. මුදල් අමාත්‍යාංශය තුළ සිටි පළපුරුදු නිලධාරීන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කර ඒ වෙනුවට අත්දැකීම් අඩු නව පිරිසක් පත් කිරීම මෙවැනි වංචාවකට හසු වීමට ප්‍රධාන හේතුව බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා රජයේ මුදල් පාලනය පිළිබඳ බලය ඇති පාර්ලිමේන්තුවට මේ පිළිබඳ කිසිදු දැනුම් දීමක් සිදු නොකර තොරතුරු වසන් කරන බවට ද චෝදනා කර සිටියි.
මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් රජය වගකිවයුතු බවත් නිසි විමර්ශනයක් පවත්වා ජනතාවගේ මුදල්වලට සිදුවූ දේ හෙළිදරව් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















