ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති මිල ඉහළ යාමටත් වඩා බරපතල බලපෑමක් සෝමාලියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන අහිංසක දරුවන්ට එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකානු-ඉශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් මුහුදු මාර්ගවල ඇති වී තිබෙන බාධා නිසා ජීවිතාරක්ෂක චිකිත්සක ආහාර (Therapeutic foods) සෝමාලියාවට ලැබීම ප්‍රමාද වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
දැනටමත් පවතින නියඟය සහ විදේශ ආධාර කප්පාදුව නිසා පීඩා විඳින සෝමාලියාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් දරුණු මන්දපෝෂණයෙන් (Severe Acute Malnutrition) පෙළෙති. යුද්ධය නිසා නැව් ගාස්තු ඉහළ යාම සහ සැපයුම් මාර්ග අවහිර වීම හේතුවෙන් මෙම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය ආහාර ලබාදීම අඩාල වී ඇති අතර සායනවලට පැමිණෙන රෝගී දරුවන් ආපසු හරවා යැවීමට පවා වෛද්‍යවරුන්ට සිදුවී තිබේ.
මෙම ජීවිතාරක්ෂක ආහාර ලබාදීම සුළු දිනකට හෝ ප්‍රමාද වීම දරුවන්ට යළිත් යථා තත්ත්වයට පත් කළ නොහැකි බරපතල ශාරීරික හානි ඇති කිරීමට හේතු වේ. යුද්ධයේ සැබෑ බිහිසුණු බව ලෝකයේ වඩාත්ම අසරණ වූ දරුවන්ගේ ජීවිත සමඟ මෙලෙස ගැටෙමින් පවතින අතර ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් අවධානය මේ සඳහා යොමුවිය යුතු බව සහන සේවා සංවිධාන අවධාරණය කර සිටියි.
















