කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ලබන මැයි මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකි. බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
පසුගිය 27 වැනිදා පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඇතිවූ ආරවුලකදී තිදෙනාම තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බව පොලීසිය තහවුරු කළේය.
මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කොළඹ 14, නවගම්පුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














