දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සිසුන්ගේ මව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (27) විරෝධතාවයක නිරත වූහ. සිසුන් 145ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළුව සිටින්නේ ගුරුවරුන් හයදෙනෙකු පමණක් බවත්, වසර හතක සිට ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ පුරප්පාඩුව පවතින බවත් විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
මීට පෙර අවස්ථාවලදී ද බලධාරීන් ගුරුවරුන් ලබා දෙන බවට පොරොන්දු වුවද එම පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව මව්පියන් මෙහිදී අවධාරණය කළහ. මේ පිළිබඳව කළ විමසීමකදී දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනිල් කුමාර මහතා සඳහන් කළේ සමස්ත කලාපය තුළම ගුරුවරුන් 400ක පමණ හිඟයක් පවතින බවත්, ඉදිරියේදී ගුරුවරුන් අනුයුක්ත කිරීමේදී මහසෙන්පුර විද්‍යාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත්ය.














