එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් වගා හානි සිදු වූ අනූරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන් වෙනුවෙන් විශේෂ පොහොර ආධාර වැඩසටහනක් ආරම්භ කර ඇත. එළඹෙන යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහය වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, මේ යටතේ කාන්තා ගොවීන් 1,686ක් ඇතුළුව සමස්ත ගොවීන් 3,489ක් සඳහා ඇමරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින් යුත් සහනාධාර පිරිනැමේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඩිජිටල් වවුචර් පද්ධතියක් (e-vouchers) හරහා වන අතර, එමගින් ගොවීන්ට තමන්ට අවශ්‍ය යූරියා, ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) යන පොහොර වර්ග ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මෙහිදී සහනාධාර ලබා දීම සිදු කරන්නේ වගා කරන ලද භූමි ප්‍රමාණය පදනම් කරගෙන වන අතර, අක්කර 0.5 දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 23,625ක (ඇ.ඩො. 75) වවුචරයක් සහ අක්කර 0.5 සිට 1 දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 28,350ක (ඇ.ඩො. 90) වවුචරයක් හිමි වේ. ශ්‍රී ලංකාවේ FAO ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අන්තර්ජාල ඩිජිටල් පොහොර වවුචර් වැඩසටහන මෙය වන අතර, එමගින් සහන සැලසීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වී ඇති බව බලධාරීහු පවසති. මෙමගින් අනූරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල්වල ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් රටේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
පොහොර සහනාධාරයට අමතරව, සෑම ගොවියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ තාක්ෂණික උපදෙස් ඇතුළත් පොත්පිංචක් ද නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇත. වගාවේ ඵලදායීතාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීමට මෙන්ම කෘෂිකාර්මික යෙදවුම් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය මගපෙන්වීම් මෙමගින් ලබා දෙනු ඇත. සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑමෙන් මිදී ගොවීන් ඉක්මනින් නැවත වගා බිමට යොමු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහ තාක්ෂණික යන දෙඅංශයේම සහය ලබා දීම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.













