මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික නිවසක් ඉදිරිපිටට ගොස් කලහකාරී ලෙස හැසිරීමට හෝ කෑගැසීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කළේය. යම් පුද්ගලයෙකු තවකෙකුගේ නිවසක් ඉදිරිපිට එවැනි දේ කරන විට එම ගම්වල මිනිසුන් ඊට ඉඩ ලබා නොදීම සහ විරෝධය දැක්වීම ස්වභාවික තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.
රජයේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් විරෝධතා දැක්විය යුත්තේ ඒ සඳහා පවතින අදාළ ආයතන සහ අමාත්‍යාංශ ඉදිරිපිට මිස පෞද්ගලික නිවාස ඉදිරිපිට නොවන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය. තම පක්ෂය මහා පරිමාණ උද්ඝෝෂණ සංවිධානය කළ ද කිසිවිටෙකත් පුද්ගලික නිවාස ඉලක්ක කර නොගත් බව ඔහු මෙහිදී සිහිපත් කළේය.
සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිස් මෙවැනි “මන්ද මානසික” ක්‍රියාවල නිරත වන බවට චෝදනා කළ ඒ මහතා, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය. පෞද්ගලික නිවාස ඉදිරිපිට විරෝධතා කිරීමට යන පුද්ගලයන් එවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














