රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ (Mikhail Murashko) මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ලබන මැයි 03 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර රුසියානු දූත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. මීට අමතරව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මැයි 04 වන දින රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර නව ගිවිසුම් කිහිපයකට එළඹීමට ද මෙහිදී අපේක්ෂා කෙරේ
ඖෂධ සහ වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍ය පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේදය සහ සෞඛ්‍ය සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මැයි 05 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.














