රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් (රුපියල් බිලියන 1100කින්) ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ රුපියලේ අගය 322 දක්වා පහත වැටීම හේතුවෙන් ජනතාව මත අතිවිශාල බරක් පැටවී ඇති බවයි.
රුපියල එකකින් අවප්‍රමාණය වන සෑම අවස්ථාවකදීම අයවැයට රුපියල් බිලියන 40ක අතිරේක බරක් එකතු වේ. මීට පෙර 7.2ක් හෝ 7.8ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට 6.8ක් දක්වා පහත වැටී ඇති අතර රුපියල සහ සංචිත සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳව ඔහු ප්‍රශ්න කරයි. මැද පෙරදිග අර්බුදය හමුවේ ඩුබායි වැනි රටවලින් ඇදී ගිය ඩොලර් බිලියන 150ක පමණ මුදලින් ප්‍රයෝජනයක් ගැනීමට ලංකාව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ණය ගෙවීම සඳහා ආයෝජන දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වුවද රජය ඒ පිළිබඳ නිසි උනන්දුවක් නොදක්වන බවට ඔහු චෝදනා කරයි.
තමන් මෙම කරුණු ඉදිරිපත් කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට නොව රටේ පවතින සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ කර දීම සඳහා බව රවි කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














