හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය බහාලුම් මෙහෙයුම් ඉතිහාසයේ එක් නෞකාවකින් හැසිරවූ වැඩිම බහාලුම් පරිමාව වාර්තා කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. මෙඩීටරේනියන් නැව් සමාගමට (MSC) අයත් ‘MSC මාරි ලෙස්ලි’ නෞකාව සාර්ථකව මෙහෙයවීමත් සමග වරාය මෙම නව වාර්තාව පිහිටුවා ඇත.
මෙම නෞකාව 2026 අප්‍රේල් 11 වන දින සිට 15 වන දින දක්වා මෙහෙයවා ඇති අතර එහිදී හැසිරවූ බහාලුම් සංඛ්‍යාව 7,968කි. මෙහි සමස්ත පරිමාව TEU 13,260ක් ලෙස වාර්තා වේ. මෙම ජයග්‍රහණය මීට පෙර හම්බන්තොට වරායේ වැඩිම බහාලුම් පරිමාවන් වාර්තා කර තිබූ MSC ඉලෙනියා (TEU 12,957) සහ MSC රූබි (TEU 11,369) යන නෞකාවන් අභිබවා යාමකි. මෙලෙස කෙටි කලක් තුළ බහාලුම් මෙහෙයුම් ශීඝ්‍රයෙන් වර්ධනය වීම තුළින් වරාය සතු උසස් තාක්ෂණික කාර්යක්ෂමතාව සහ දැවැන්ත නෞකා හැසිරවීමට ඇති සූදානම මැනවින් පිළිබිඹු වන බව වරාය බලධාරීන් පෙන්වා දෙයි. මෙම සන්ධිස්ථානය හරහා කලාපීය බහාලුම් ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය සතු ශක්තිමත් භූමිකාව තවදුරටත් තහවුරු වී තිබේ.














