ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ HSBC බැංකුවේ පාරිභෝගික බැංකු සේවා මෙහෙයුම් (Consumer Banking) අද (30) නිල වශයෙන් අවසන් වේ. මෙය සිදුවන්නේ එම බැංකුවේ සිල්ලර බැංකු අංශය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමඟය. 2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව, 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ඇතිව මෙම පැවරීම සිදු විය.
ඒ අනුව හෙට, එනම් 2026 මැයි 01 වනදා සිට HSBC බැංකුවේ ප්‍රෙමියර් (Premier) ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සහ පුද්ගලික ණය ලබාගත් ගනුදෙනුකරුවන් ඇතුළු ලක්ෂ දෙකකට ආසන්න ගිණුම් සංඛ්‍යාවක් නිල වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යටතට පත්වනු ඇත. අද පස්වරු 3:00ට HSBC බැංකු ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ සීඝ්‍රගාමී බැංකු මධ්‍යස්ථාන වසා දැමුණු අතර, ගිණුම්, ඩිජිටල් බැංකු සේවා සහ කාඩ්පත් රාත්‍රී 7:00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ. රාත්‍රී 7:00න් පසු සියලුම HSBC කාඩ්පත් සහ ඔන්ලයින් පද්ධති අක්‍රිය වන අතර, පද්ධති සංක්‍රමණය අවසන් වන තෙක් තාවකාලික සේවා බාධාවක් පවතින බව බැංකුව දැනුම් දී තිබේ.
මෙම නික්මයාම සනිටුහන් කරමින් HSBC ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ද අද දින වසා දැමීමට පියවර ගෙන ඇත. වසර ගණනාවක් පුරා තමන් කෙරෙහි විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන්ට සිය ස්තූතිය පිරිනමන බවත්, මෙම සංක්‍රමණය හරහා සියලුම පාරිභෝගික බැංකු සේවා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මගින් ඉදිරියටත් ලබාගත හැකි බවත් HSBC බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.














