දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරමින් පවතින පැරණි නීති වහාම වෙනස් කළ යුතු බව අධිකරණය මෙහිදී අවධාරණය කළේය.
දූෂණයකට ලක්වූ අවස්ථාවකදී ගබ්සාව සඳහා දැනට පවතින සති 24ක නීතිමය කාල සීමාව අදාළ නොවිය යුතු බවත් රජය විසින් වින්දිත දැරියගේ සහ ඇයගේ පවුලේ තීරණවලට ගරු කළ යුතු බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය. වින්දිත දරුවා සහ කළලය අතර සටනකදී දරුවාට ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩ දිය යුතු බව ද අධිකරණය සඳහන් කළේය. මෙම දැරිය ඒ වන විටත් දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ අතර ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බව ද අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය තර්ක කළේ සති 31ක් යනු ගබ්සාවක් සිදු කිරීමට ප්‍රමාද වැඩි කාලයක් බවත් එමගින් මවගේ ජීවිතයට අවදානමක් විය හැකි බවත්ය. දරුවා ප්‍රසූත කර දරුකමට හදා ගැනීමට දීම වඩාත් සුදුසු බව රජයේ මතය විය. කෙසේ වෙතත් බලහත්කාරයෙන් දරුවා ප්‍රසූත කිරීමට දැරියට බල කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව අධිකරණයේ මතයයි.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ දූෂණයට ලක්වූ වින්දිතයන් සඳහා ඉන්දියාවේ ගබ්සා නීතිය වඩාත් නම්‍යශීලී සහ මානුෂීය වනු ඇති බව පැවසේ.














