ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ලබන මැයි මස 03 වනදා සිට 06 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සිව් දින නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇත. මාලදිවයින ජනාධිපති කාර්යාලය නිවේදනය කරන පරිදි මෙම සංචාරයේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ නායකයින් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම හමුව අතරතුර ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නායකයින් දෙපළ කටයුතු කරනු ඇත.
මෙම නිල සංචාරය සඳහා මාලදිවයින ප්‍රථම කාන්තාව වන සජිදා මොහොමඩ් මහත්මිය ඇතුළු එරට කැබිනට් අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ ජූලි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ සිදුකළ සංචාරයෙන් අනතුරුව, මාලදිවයින ජනාධිපතිවරයා මෙරටට පැමිණීම දෙරටේ සමීප මිත්‍රත්වය තහවුරු කරන සන්ධිස්ථානයක් වනු ඇත. ඉන්දියන් සාගර කලාපයේ අසල්වැසි රාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ආර්ථික සහ දේශපාලන සබඳතා මෙහිදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.













