ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් (Reuven Azar) මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර නිල හමුවක් අද (30) දින පැවැත්වුණි. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය යළි තහවුරු කිරීම සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේම අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවත්නා සබඳතා අගය කරමින්, ඉදිරියේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහයෝගීතාව පුළුල් කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ඊශ්‍රායල තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
මෙම සාකච්ඡාවේදී දෙරටටම වැදගත් වන පොදු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, නව රජය යටතේ විදේශ සබඳතා ශක්තිමත් කරගැනීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඊශ්‍රායල නියෝජිත පිරිස කැමැත්ත පළ කර තිබේ. තාක්ෂණික, කෘෂිකාර්මික සහ රැකියා ක්ෂේත්‍රයන්හි පවතින සබඳතා නව මානයන් ඔස්සේ ඉදිරියට රැගෙන යාම මෙහි මූලික අරමුණක් වී ඇත. ශ්‍රී ලංකාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව ජවයකින් යුතුව පවත්වාගෙන යාමට ඊශ්‍රායලය අපේක්ෂා කරන බව මෙම හමුවෙන් පසුව නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වේ.














