රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු වන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව සොයා බලන අධීක්ෂණ කමිටුවක් ලෙස බවයි. රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අනපනත් පිළිබඳ විශ්ලේෂණයක් කර, ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට ලබා දීම එහි ප්‍රමුඛතම වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමට භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කැඳවීමට කමිටුව තීරණය කර තිබූ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට පළ වූ වාර්තා අසත්‍ය බව අබේසිංහ මහතා පැහැදිලි කළේය. ඔහු එදින සහභාගී වීමට නොහැකි බවත්, ඉදිරි දිනයක පැමිණෙන බවත් දැනුම් දී තිබූ බව ඔහු සඳහන් කළේය.
මුදල් කාරක සභාවේ තීරණ සැමවිටම කමිටුවක් ලෙස සාමූහිකව ඉදිරිපත් විය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සභාපතිවරයා විසින් ඇතැම් අවස්ථාවල සිදු කරන ප්‍රකාශ කමිටුවේ පොදු එකඟතාවයෙන් තොර ඒවා බව ද පවසා සිටියේය. රටේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම කාරක සභාව සක්‍රිය දායකත්වයක් ලබා දෙන අතර, විමර්ශන කටයුතු සඳහා වෙනත් කමිටු පවතින බව ද අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.














