ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පත්කළ පරිවර්තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිය වැඩ කටයුතු භාරගත්තේය. කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු සාමාජිකයෝ පිරිසක් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් හමුවී අදහස් හුවමාරු කර ගත්හ.
හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව, ක්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල අනුව මෙම කමිටුව පත්කරනු ලැබීය.
වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ තමන් මෙම තනතුරට දේශපාලනය කිරීමට නොපැමිණි බවයි. ක්‍රිකට් පරිපාලනය දියුණු කිරීම සහ බිම් මට්ටමේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම කමිටුවේ ප්‍රධාන වගකීම් දෙක බව ඔහු සඳහන් කළේය. ක්‍රිකට් ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වා වෙනසක් අවශ්‍ය බවත්, ජාතික කණ්ඩායම, කාන්තා ක්‍රිකට් සහ පාසල් ක්‍රිකට් කෙරෙහි ද අවධානය යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි, ප්‍රකාෂ් සාෆ්ටර්, ඩිනාල් පිලිප්ස්, තුශිර රදැල්ල, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ අවන්ති කොළඹගේ යන මහත්ම මහත්මීන් කටයුතු කරති. කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරු ඉදිරි දිනවලදී කමිටුවට එක්වීමට නියමිතය.














