මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා රටට වටිනා සම්පතක් බවත්, බිඳ වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ඔහු සුවිශේෂී මෙහෙවරක් කළ බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ සෙසු රටවල් ආර්ථික අර්බුද හමුවේ පීඩා විඳින පසුබිමක, ලංකාවේ ආර්ථිකය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සමඟ එක්ව හර්ෂණ සූරියපෙරුම මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අසල්වැසි රටවල් තවමත් ඉන්ධන පෝලිම් වැනි ගැටලුවලට මුහුණ දුන්නද, ලංකාව එම තත්ත්වයෙන් මුදා ගැනීමට මෙම නිලධාරීන්ගේ කැපවීම හේතු වූ බව ඔහු පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ සිදුවූ බව කියන වැරදි ගෙවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් කාරක සභාව හමුවේ කරුණු පැහැදිලි කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. යම් මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පිළිගන්නා අතර ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් සහ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
දූෂිතයන්ට තොරතුරු ලැබීම වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව දේශපාලන පොරපිටියක් නොකර ගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය. සෑම රාජ්‍ය ආයතනයකම මූල්‍ය කටයුතු සොයා බැලීමට කාරක සභාවට ව්‍යුහාත්මක හැකියාවක් නොමැති අතර ඒ සඳහා විගණකාධිපතිවරයාට පූර්ණ බලය පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඕනෑම වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පවත්වා දඬුවම් දීමට රජය පසුබට නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














