එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන මට්ටම ‘සැලකිය යුතු’ මට්ටමේ සිට ‘දරුණු’ (Severe) මට්ටම දක්වා ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රදේශයේදී යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු ඉලක්ක කර සිදුවූ පිහි ඇනුමේ සිද්ධියත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි මාස 6ක කාලය තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට බොහෝ දුරට ඉඩක් පවතින බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අනතුරු අඟවයි.
ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රහාරයේ වගකීම ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ නම් ඉරාන හිතවාදී ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති අතර, සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරන්නේ මෙම තර්ජන මට්ටම ඉහළ දැමීම හුදෙක් එකී සිද්ධියට පමණක් සීමා නොවූ බවයි. පුළුල් ඉස්ලාම් අන්තවාදී මෙන්ම අන්ත දක්ෂිණාංශික තර්ජනවල පවතින වර්ධනය ද මෙම තීරණයට හේතු වී ඇත.
බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුවන සිදුවීම් මාලාවක නවතම අවස්ථාව මෙය වන අතර, එරට අවසන් වරට ත්‍රස්ත තර්ජන මට්ටම ‘දරුණු’ ලෙස සලකනු ලැබුවේ 2022 පෙබරවාරි මාසයේදීය.














