ඕස්ට්‍රේලියාවට ණය වශයෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් (ඩොලර් මිලියන 2.5) වංචනිකයන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කරුණු රැසක් අනාවරණය වී තිබේ.මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත ලබා දෙන ලෙස මුදල් කාරක සභාව විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝග කර ඇත. එම වාර්තාව ලැබුණු පසු සිද්ධියට අදාළව ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.මුදල් අමාත්‍යාංශයේ ණය ගෙවීම් වැඩපිළිවෙළ තුළ දැවැන්ත හිඩැස් පවතින බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. මෙම හිඩැස්වලින් ප්‍රයෝජන ගනිමින් වංචනිකයන්ට රිංගා යාමට අවස්ථාව ලැබී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ මෙම මුදල වංචනිකයන් අතට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ඊයේ (අප්‍රේල් 30) පස්වරුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබුණි.














