අධි වෙසක් පොහෝ දිනය අදට (මැයි 01) යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රැසක පැවති විශේෂ පින්කම් මෙසේය:
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ “සවනක් රැස්” වැඩසටහන කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, පූජ්‍ය බෝදාගම සුමනජෝති ස්වාමීන් වහන්සේ විසින් සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව සිදු කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා සහභාගී වූහ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දාන ශීල භාවනා පින්කම් සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටිති.
රාගම බටුවත්ත රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කළ සක්මන් මුද්‍රාව නිරූපණය වන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම සිදු කෙරුණි. බෙලිඅත්ත කහවත්ත රජමහා විහාරාධිපති පූජ්‍ය වටරක්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේගේ 50 වැනි පැවිදි සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර තිබුණි. සෝමාවතිය පුදබිමේදී මහනුවර ජාතික රෝහලේ රෝගීන්ට සුවය ප්‍රාර්ථනා කරමින් වාර්ෂික කප්රුක් පූජාව සහ ආගමික වැඩසටහන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. හිඹුටාන මුල්ලේරියාව ශ්‍රී අභිනවාරාමාධිපති පූජ්‍ය ඇල්වල බුද්ධසිරි ස්වාමීන් වහන්සේ සසුන් ගතවී වසර 30ක් පිරීම නිමිත්තෙන් බෝධිපූජා සහ සංඝගත දක්ෂිණා පින්කම් මාලාවක් පැවැත්විණි. ගාල්ල අලුත්වල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණි.














