දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු වී ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ඇමරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින් යුත් පොහොර වවුචර ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේ. මෙමඟින් ඉදිරි යල කන්නයේ වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ගොවීන්ට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ආධාර වැඩසටහන යටතේ 2025/26 මහ කන්නයේදී හානි සිදුවූ ගොවි කාන්තාවන් 1,686 දෙනෙකු ඇතුළුව සුළු වී ගොවීන් 3,489 දෙනෙකුට සහන සැලසීමට නියමිතය. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා, TSP සහ MOP පොහොර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් ගොවීන්ට විද්‍යුත් වවුචර් (e-vouchers) හිමිවන අතර අක්කර 0.5 දක්වා වගා කරන ගොවීන්ට ඩොලර් 75ක (රු. 23,625) වවුචරයක් ද අක්කර 0.5 සිට 1 දක්වා වගා කරන ගොවීන්ට ඩොලර් 90ක (රු. 28,350) වවුචරයක් ද ලබා දෙනු ඇත.
මෙම කාලෝචිත මැදිහත් වීම හරහා අනුරාධපුරයේ සුළු ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමටත්, සහල් නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීමටත් හැකි වනු ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කර තිබේ.














