මීට පස්සේ වෙනත් ආණ්ඩු බිහි නොවන බවත්, රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ඉදිරියට යන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පෙන්වා දුන්නේ පක්ෂ අනාථ වී විසිරී සිටින සුළු පිරිසක් එක්ව කෑගැසූ පමණින් මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බවයි. මීට පස්සේ වෙනත් ආණ්ඩු නොමැති බවත්, රට සම්පූර්ණයෙන්ම ගොඩනඟන තුරු පාලනය ගෙන යන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ආණ්ඩුව පෙරළීමට හෝ අරගල කිරීමට උත්සාහ කරන පිරිස්වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ, අරගල පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එය ඉගෙන ගත යුත්තේ තමන්ගෙන් බවයි. මෙම ආණ්ඩුවට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කළුතරට රැස්ව සිටින්නේ දැවැන්ත ජන පවුරක් බවත් ඔහු අවධාරණය කළේය.
අතීතයේ කම්කරු පන්තියේ අයිතිවාසികම් කප්පාදු කළ සහ ජනතාවට පීඩා කළ පාලකයින් අද වන විට ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇති බවත්, ඔවුන්ට මැයි දිනයක් පවා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.














