වයඹදිග ඉරානයේ සැන්ජාන් (Zanjan) පළාතේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. නොපිපිරුණු යුදෝපකරණ නිෂ්ක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
මෙම පිපිරීම සිදුව ඇත්තේ සිකුරාදා (01) දින සැන්ජාන් නගරය ආසන්නයේ පිහිටි යුදෝපකරණ සහිත කලාපයක් පිරිසිදු කරමින් සිටියදීය. හඳුනා නොගත් බෝම්බයක් පුපුරා යාමෙන් මෙම විනාශය සිදුව ඇති අතර තවත් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මියගිය පිරිස අතර IRGC ‘අන්සාර් අල්-මහ්දි’ ඒකකයේ අතිශය පළපුරුදු සහ විශේෂ පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන් කිහිපදෙනෙකුම සිටින බව වාර්තා වේ.
2026 පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරත් සමඟ මෙම යුදමය තත්ත්වය ආරම්භ විය. අප්‍රේල් 08 වනදා ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් පසුව ඉරාන ආරක්ෂක අංශ වෙත එල්ල වූ විශාලතම ජීවිත හානිය මෙය ලෙස සැලකේ. සටන් විරාමයෙන් පසුව මේ දක්වා ප්‍රදේශය පුරා විසිරී තිබූ නොපිපිරුණු යුදෝපකරණ 15,000කට අධික ප්‍රමාණයක් නිෂ්ක්‍රීය කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කරයි.
මෑතකදී සිදුවූ ගුවන් ප්‍රහාරවලදී භාවිත කළ පොකුරු බෝම්බ සහ බිම් බෝම්බ මෙම ප්‍රදේශයේ විසිරී තිබෙන්නට ඇතැයි සැක කෙරෙන අතර ඒවා හමුදා සාමාජිකයන්ට මෙන්ම සිවිල් වැසියන්ට ද තවමත් බරපතල තර්ජනයක් බව බලධාරීහු අනතුරු අඟවති.














