ජනශක්ති සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමිකම් කොටස් 500,000,000ක් (JXG.N0000) කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ප්‍රධාන පුවරුව යටතේ පසුගිය අප්‍රේල් 29 වන දින නිල වශයෙන් වෙළඳ කටයුතු ආරම්භ කරන ලදී. මෙම මූලාරම්භය සනිටුහන් කරමින් වෙළඳපොළ විවෘත කිරීමේ චාරිත්‍රානුකූල සීනුව නාද කිරීමේ උත්සවයක් ද කොටස් වෙළඳපොළ පරිශ්‍රයේදී පැවැත්විණි.
අප්‍රේල් 09 වන දින පැවති එහි මූලික මහජන නිකුතුව (IPO) හරහා රුපියල් බිලියන 05ක මුදලක් රැස්කර ගැනීමට සමාගම අපේක්ෂා කළ අතර, එය තුන් ගුණයකින් අධිදායක (oversubscribed) වීම නිසා රුපියල් බිලියන 15.15කට අධික වටිනාකමක් හිමිවිය.
සමාගමේ දිගුකාලීන වර්ධන උපායමාර්ගවලට අනුව, මෙම අරමුදල් මගින් සාමාන්‍ය රක්ෂණ, ක්ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) යන අංශවල ව්‍යාප්තිය මෙන්ම විදේශීය වෙළඳපොලවල් වෙත පිවිසීමට ද කටයුතු යොදා ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනශක්ති සමූහයේ සභාපති චන්දන් ද සිල්වා මහතා සඳහන් කළේ, වත්මන් ආර්ථික හා මූල්‍ය අවිනිශ්චිතතාවය මධ්‍යයේ වසර 14කට පසු පැවති විශාලතම IPO නිකුතුව මෙලෙස සාර්ථක වීම ආයෝජකයින්ගේ දැඩි විශ්වාසය තහවුරු කරන්නක් බවයි.














