ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේදී, තම විවාහ මංගල්‍ය උත්සවය සඳහා පෙරහැරකින් ගමන් කරමින් සිටි 27 හැවිරිදි මනාලයෙකු නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (මැයි 01) රාත්‍රී කාලයේදීය.
බඩෝර් ගම්මානයේ පදිංචි අසාද් බින්ඩ් නමැති මෙම තරුණයා සිය මංගල පෙරහැර සමඟ ගමන් කරමින් සිටියදී, මුහුණු ආවරණය කරගත් පිරිසක් යතුරුපැදියකින් පැමිණ මනාලයා ගමන් කළ වාහනය හරස් කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. පහරදීම සිදුකළ පිරිස වාහනය පසුපස හඹා ගොස් මනාලයා ඉලක්ක කර වෙඩි තබා පලා ගොස් තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මනාලයා රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මනාලියගේ ඥාතියෙකු මෙම විවාහයට දැඩි විරුද්ධත්වයක් දක්වා ඇති බවත්, මංගල පෙරහැර අතරතුරදී ද මනාලයාට පහරදීමක් සිදුව ඇති බවත්ය. සැකකරුවන් අතර මනාලියගේ එම ඥාතියා සිටින බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත.














