මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අද (02) සහ හෙට (03) දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සංචාරවල නියමිත කාලසටහනට අනුව, කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට හෝ වෙනත් මාර්ග ඔස්සේ හැරවීමට සිදුවන බව පොලිස් රථවාහන අංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරයා ගමන් ගන්නා මාර්ගවල ආරක්ෂක කටයුතු වෙනුවෙන් කෙටි කාලීනව ගමනාගමනය නතර කිරීම් සිදුකෙරෙන අතර, ප්‍රධාන මාර්ගවල සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙනු ලැබේ. රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත්, අනවශ්‍ය රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්වීමට සහය ලබාදෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම තාවකාලික අපහසුතා පිළිබඳව රියදුරන්ගේ අවධානය සහ සහයෝගය පොලිසිය බලාපොරොත්තු වේ.














