මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකය පියවීමට නම් රජයට අලුතින් විසර්ජන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවන බව හිටපු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
අතුරුදන් වූ මුදල පසුගිය අයවැය ලේඛනය මගින් ණය පොළී වාරික ලෙස ගෙවීමට අනුමත කරවා ගත් මුදලක් වන අතර එය දැනට හඳුනා නොගත් පාර්ශ්වයක් වෙත ගලා ගොස් ඇත. ඕස්ට්‍රේලියානු එක්ස්පෝට් ෆයිනෑන්ස් ආයතනය වෙත එම ණය වාරිකය නිසි පරිදි ගෙවීමට නම් පාර්ලිමේන්තුවෙන් යළිත් මුදල් වෙන් කරවා ගැනීම අනිවාර්ය වන බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට මුදල් අමාත්‍යාංශය වෙත මාරු කෙරෙන සංක්‍රාන්ති සමයේදී මෙම මූල්‍ය ගනුදෙනුව සිදුව තිබීම විශේෂත්වයකි.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මෙවැනි මාරුවීම් පාලනය කිරීමට විශේෂ කමිටුවක් පත් කළ යුතු වුවද එවැනි කමිටුවක් හරහා කටයුතු සම්බන්ධීකරණය වූ බවට වාර්තා නොමැති වීම බරපතළ පරිපාලනමය දෝෂයක් බව හෙතෙම අවධාරණය කරයි.
මෙතෙක් සිදු කළ කිසිදු විමර්ශනයකින් අස්ථානගත වූ මුදල් යළි ලබා ගැනීමට හැකි වී නොමැති අතර එම මුදල් විදේශීය ගිණුමක පවතින බවට සැක කෙරේ. කෙසේ වෙතත් රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මේ වන විටත් අදාළ ඕස්ට්‍රේලියානු ආයතනය සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව වාර්තා වේ.














