එක්සත් ජනපදය විසින් ජර්මනියේ රඳවා සිටින තම හමුදාවන්ගෙන් 5,000ක පමණ පිරිසක් ඉවත් කර ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජර්මානු රජය පවසන්නේ, යුරෝපය තමන්ගේම ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් කර ගත යුතු බවයි. කෙසේ වෙතත්, ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් මෙම තීරණය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
අදාළ හමුදා ඉවත් කර ගැනීමේ තීරණය ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙය ජර්මනිය සහ ඇමරිකාව අතර ඉරාන අර්බුදය හා වෙළඳ ගැටලු හේතුවෙන් ඇති වී තිබෙන මතභේදවල ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් (Boris Pistorius) මහතා කියා සිටියේ, මෙම තීරණය අනපේක්ෂිත එකක් නොවන බවයි. ඉදිරියේදී යුරෝපය සිය ආරක්ෂාව සඳහා වැඩි වගකීමක් දැරිය යුතු බවත්, ජර්මනිය ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේ වුවද, රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික රොජර් විකර් (Roger Wicker) සහ නියෝජිත මන්ත්‍රී මයික් රොජර්ස් (Mike Rogers) යන මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම හමුදා යුරෝපයෙන් ඉවත් කිරීම මඟින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට වැරදි පණිවිඩයක් ලැබිය හැකි බවයි.














