මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වනදා ලෙස නියම කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතිකාවතට පිළිතුරු දෙමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මෙම තීරණය ගනු ලැබුවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් සහ මඟපෙන්වීම්වලට අනුව බවයි.
මහා නායක ස්වාමීන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ වෙසක් පුන් පොහොය දිනය යෙදිය යුත්තේ ‘විසා’ නැකත පවතින දිනයක බවයි. ඒ අනුව කරන ලද නිරීක්ෂණවලින් පසු ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම දිනය නියම කර ඇත. මේ පිළිබඳව පසුගිය ජනවාරි මස 06 වනදා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව, මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වනදා ලෙස සැලකීමටත්, මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














