ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහළම පරිපාලන ස්ථරය තුළ සිදුවූ බව කියන බරපතල විෂමාචාර සහ නිලධාරිනියන්ට සිදුවූ හිරිහැර පිළිබඳ පුවත දැන් මෙරට දේශසීමා ඉක්මවා ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ සේවය තහනම් කිරීමත් සමඟ කරළියට පැමිණි මෙම අර්බුදය, හුදෙක් අභ්‍යන්තර පරිපාලන ගැටලුවකට එහා ගිය බරපතල මානව හිමිකම් සහ වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ආයතනය තුළම මෙවැනි කළු පැල්ලම් ඇතිවීම ජාත්‍යන්තර පාර්ලිමේන්තු ප්‍රජාවගේ දැඩි විමර්ශනයට ලක්ව ඇති බව දැන් තහවුරු වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් මේ සම්බන්ධයෙන් යොමුකළ විශේෂ ලිපියකට ප්‍රතිචාර දක්වමින් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම් ස්ටීවන් ටුවිග් මහතා දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිදුවන මෙම වර්ධනයන් තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි. හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා වෙත ලිඛිතව දන්වා ඇති පරිදි, අදාළ ලිපියේ අන්තර්ගත බරපතල කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අවධානය වහාම යොමු කිරීමට ද පොදුරාජ්‍ය මණ්ඩලයීය සංගමය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ නිලධාරීන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් මෙහිදී උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත.
නිලධාරිනියන්ට හිරිහැර කිරීම වැනි සංවේදී සහ බරපතල චෝදනා ඉදිරියේ ලෝක පාර්ලිමේන්තු පද්ධතියම මෙලෙස සක්‍රීය වීම, මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දක්නට ලැබෙන දුර්ලභ තත්ත්වයකි. ජාත්‍යන්තරය මෙලෙස මැදිහත් වන්නේ නම්, මෙම සිදුවීම පිටුපස ඇති සැබෑ සත්‍යය වසන් කිරීමට තවදුරටත් කිසිදු පාර්ශවයකට ඉඩක් නොලැබෙනු ඇත. වගවීම සහ විනිවිදභාවය වෙනුවෙන් ජාත්‍යන්තර ඇස යොමුව ඇති මෙම මොහොතේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තම ගරුත්වය රැකගැනීමට ගන්නා ක්‍රියාමාර්ග දෙස මුළු රටම බලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටින්නන්ගේ සැබෑ ස්වරූපය හෙළිවන මෙම නඩු විභාගය, හෙට දවසේ යහපාලනයට තීරණාත්මක මාවතක් වනු නොඅනුමානය.














