විශ්‍රාමික හමුදා සෙබළෙකුගේ ණය මුදලක් පියවා දීමට සහ රුපියල් ලක්ෂ 25ක ආධාර මුදලක් ලබා දීමට උදව් වන බව පවසා රුපියල් 129,600ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකි. ඔහු විසින් පැමිණිලිකාර විශ්‍රාමික සෙබළාගේ ණය විස්තර ලබාගෙන, ආධාර මුදල් ලබා ගැනීම සඳහා පෙර ගෙවිය යුතු මුදල් ලෙස අවස්ථා තුනකදී මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ මුදල් මහජන බැංකු ගිණුමකට බැර කරවා ගැනීමෙන් පසු, නැවතත් ලේඛන ගාස්තු ලෙස රුපියල් 13,457ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඉකුත් 30 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














