පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ දහම් පාසල් ගුරුවරයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලීන්ද හේවාවසම් මහතා විසින් වසර 24ක බරපතළ සිර දඬුවම් නියම කර තිබේ.
මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම විය. 2015 වසරේදී වින්දිත සිසුවා සිය පාපැදියේ නංවාගෙන රහසිගත ස්ථානයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට අධිකරණයේදී තහවුරු විය. විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා දෙකක් ඔප්පු වීම හේතුවෙන් එක් චෝදනාවකට වසර 12 බැගින් මෙම සිර දඬුවම නියම කෙරුණු අතර, එය වසර 12කින් ගෙවී යන පරිදි ඒකකාලීනව ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරිණි.
සිර දඬුවමට අමතරව, විත්තිකරුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වින්දිත සිසුවාට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස ද මහාධිකරණය නියෝග කළේය. රජයේ අධිනීතිඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.














