ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා සහ ඩිජිටල් සේවාවන් ඉලක්ක කරගනිමින් නව බදු සංශෝධන ඇතුළත් වැට් පනත් කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංශෝධන හරහා ක්ෂේත්‍ර කිහිපයකට සෘජු බලපෑමක් එල්ල වනු ඇත.
කෙටුම්පතට අනුව, දැනට පවතින 18%ක මූල්‍ය සේවා වැට් බද්ද 20.5%ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර මෙතෙක් කල්දමමින් පැමිණි ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් අය කිරීම ද ජූලි 01 වැනිදා සිටම ආරම්භ කිරීමට නියමිතය.
නව බදු ප්‍රතිපාදන යටතේ වීඩියෝ සහ සංගීතය සපයන ස්ට්‍රීමිං සේවා, සමාජ මාධ්‍ය, සූදු ක්‍රීඩා වේදිකා, මෘදුකාංග සැපයීම, ඩිජිටල් අලෙවිකරණය, සයිබර් ආරක්ෂණ සහ තොරතුරු තාක්ෂණ සහය සේවා බද්දට යටත් වේ. එසේම විදේශයක සිට පවත්වන මාර්ගගත පාඨමාලා, සම්මන්ත්‍රණ, ඩිජිටල් අධ්‍යාපන වේදිකා මෙන්ම දුරස්ථ වෛද්‍ය සේවා, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම, හෝටල් වෙන් කිරීමේ වෙබ් අඩවි සහ මාර්ගගත වෙළෙඳසැල් ද මෙම වැට් බදු අය කිරීමට ඇතුළත් කර ඇත.
මෙම නව නීතියට අනුව, විදේශයක සිට ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සේවා සපයන පාර්ශ්වයන්ගේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36 ඉක්මවන්නේ නම් ඔවුන් මෙම පනත යටතේ ලියාපදිංචි විය යුතුය. එමෙන්ම මෙරට තුළ ව්‍යාපාර කරන පුද්ගලයන් සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව ද පහත දමා ඇති අතර ඒ අනුව යම් බදු කාලසීමාවක් තුළ පිරිවැටුම රුපියල් මිලියන 9 ඉක්මවන්නේ නම් හෝ මාස 12ක කාලයක් තුළ පිරිවැටුම රුපියල් මිලියන 36 ඉක්මවන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු බව කෙටුම්පතේ වැඩිදුරටත් දැක්වේ.














