පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර විස්සක් සහ ඒ ආසන්නයේ පිහිටි බස් නැවතුම්පොළ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල් බිහි වී ගරා වැටෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, මඩකලපුව මංසන්ධියට නුදුරින් පිහිටා තිබෙන මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ප්‍රදේශයේ එළවළු, පලතුරු මෙන්ම අනෙකුත් නිෂ්පාදන අලෙවි කරගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි සමයේ මහවැලි බී කලාපීය ආදර්ශ කලාප වැඩසටහන යටතේ සවුදි අරමුදලින් රුපියල් ලක්ෂ දොළහක වියදමින් බස් නැවතුම්පොළ ඉදිකර තිබෙන අතර, රුපියල් ලක්ෂ සියයක වියදමින් කඩ කාමර විස්සකින් යුත් මනම්පිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය යටතේ පාලනය වන මෙම මනම්පිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ බස් නැවතුම්පොළ 2001 වසරේ දෙසැම්බර් 03 වැනිදා ජනතා අයිතියට පත්කර ඇත. කඩකාමර විවෘත කළ දිනයේ සිට වසර දෙකක කාලයක් තුළ වෙළෙඳුන් නොපැමිණීම හේතුවෙන් මෙය වැසී ගොස් තිබේ.
වසර විසි තුනක කාලයක සිට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල් බිහි වී ගරා වැටෙමින් පවතින මනම්පිටිය ආර්ථික මධ්‍යස්ථානය යළි ප්‍රතිසංස්කරණය කර ප්‍රදේශයේ ගොවිජනතාවට සහ ස්වයං රැකියා සිදුකරන අයට ලබා දෙන්නේ නම් රජයට බදු මුදලක් ලැබෙනවා සේම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නංවා ගැනීමට එය මහඟු අවස්ථාවක් වන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතා පැවසුවේ, මෙම ආර්ථික මධ්‍යස්ථානය යළි ප්‍රතිසංස්කරණය කර ගොවිජනතාවට සහ ස්වයං රැකියා කරන්නන්ට බදු ක්‍රමයට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.














