අභිරහස් ලෙස මියගිය මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව පවසමින් ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (04) ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මරණය “අධික ලේ වහනය වීමෙන් සිදුවූවක්” බවත් “බොහෝ විට සියදිවි නසා ගැනීමක් විය හැකි” බවත් නිගමනය කර තිබේ. කෙසේ වෙතත්, පටක වේද (Pathology) සහ විෂ වේද (Toxicology) වාර්තා ලැබීමට පෙර මෙවැනි නිගමනයකට එළඹීම ගැටලුසහගත බව ඔහු පෙන්වා දෙයි.
මියගිය රංග නිශාන්ත මහතා මහා භාණ්ඩාගාරයේ සිදුවූ පරිගණක වංචාවක් පිළිබඳව රහස් පොලිසියට මුල් පැමිණිල්ල කළ පුද්ගලයා බව ගම්මන්පිල මහතා අනාවරණය කළේය. එවැනි වැදගත් සාක්ෂිකරුවෙකු අභිරහස් ලෙස මියයාම විමර්ශනවලට දැවැන්ත බාධාවක් බව ඔහු අවධාරණය කරයි.
බලනහර (arteries) තුනක් කපාගෙන සියදිවි හානිකර ගැනීම ලෝකයේ අසාමාන්‍ය ක්‍රමයක් බවත්, එක් නහරයක් කැපීමේදී දැනෙන වේදනාව හමුවේ තවත් නහර දෙකක් කපා ගැනීමට සාමාන්‍ය පුද්ගලයෙකුට චිත්ත ශක්තියක් තිබිය නොහැකි බවත් මහාචාර්යවරයා පවසයි. එමෙන්ම, පිහියේ ඇඟිලි සලකුණු පරීක්ෂාව සහ ඇඳුම්වල තිබූ ලේ පැල්ලම් පිළිබඳ නිසි විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු නොවීම පිළිබඳව ද ඔහු ප්‍රශ්න කරයි.
වත්මන් පරීක්ෂණ මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් දේශපාලන ක්‍රියාකාරීන් සහ රජයේ ප්‍රබලයින්ගේ මිතුරන් බව පවසන ගම්මන්පිල මහතා, මෙම මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය. ඒ වෙනුවට දිවයිනේ ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් මගින් දෙවන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු රජයට යෝජනා කරයි.














