ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් ආරම්භ කරන ලද ලංකා මෙට්‍රො බස් සේවාව සඳහා වන පළමු බස් ඩිපෝවේ ඉදිකිරීම් කටයුතු අද (04) නිල වශයෙන් ආරම්භ විය.
මෙම ඩිපෝව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ඨාසයට අයත් කඩවත – ගනේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඉදිකරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 102 කි. මෙහි ඉදිකිරීම් කටයුතු 2026 ජූලි 30 වන දින වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දැනට බස් රථ 10 ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම සේවාව, එළඹෙන අගෝස්තු මාසයේ සිට ප්‍රධාන මාර්ග 06 ක් ඔස්සේ බස් රථ 122 ක් දක්වා පුළුල් කිරීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම මෙම සේවා සැපයීම සිදු කරයි.
මෙම ව්‍යාපෘතියට සමගාමීව බස්නාහිර පළාත තුළ තවත් නව මෙට්‍රො ඩිපෝ 03 ක් ඉදිකිරීමට නියමිතය. ඒ අනුව ඒකල, රත්මලාන සහ තලංගම යන ප්‍රදේශවල නව ඩිපෝ පරිශ්‍ර ස්ථාපනය කෙරේ. ඒකාබද්ධ ගෙවීම් ක්‍රම සහ නවීන බස් නැවතුම් වැනි යටිතල පහසුකම් ද මෙයට ඇතුළත් වේ.
ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිසංවිධානය කරමින් දේශපාලන බලපෑම්වලින් තොර, විනිවිදභාවයකින් යුත් විධිමත් පරිපාලන යාන්ත්‍රණයක් යටතේ පොදු ප්‍රවාහනය ගොඩනැගීමට පියවර ගන්නා බවයි.














