හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අදහස් දැක්වීය.
එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු ජනාධිපතිවරයා වෙත මෙතෙක් කිසිදු ලිඛිත දැනුම් දීමක් සිදුකර නොමැති බවයි. මාධ්‍ය මගින් එවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය වුවද, නිල වශයෙන් එවැනි කැඳවීමක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
“ඕනෑම විමර්ශනයකට සහයෝගය දෙන්න අපි සූදානම්. හැබැයි මේවා දේශපාලන දඩයම් ද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. නීත්‍යානුකූලව යම් කැඳවීමක් කරනවා නම් ඒකට මුහුණ දෙන්න මහින්ද රාජපක්ෂ මහතා පසුබට වෙන්නේ නැහැ. නමුත් තාම එවැනි ලිඛිත දැනුම්දීමක් නිල වශයෙන් ලැබිලා නැහැ,” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එයාර් බස් (Airbus) ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා ලබන 12 වැනිදා කොමිසම හමුවට කැඳවා ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වූ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයත් සමඟ එම පුවතේ සත්‍යතාව පිළිබඳව දේශපාලන කරළියේ යම් කතාබහක් නිර්මාණය වී තිබේ.













