දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරගැනීමේදී මගීන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන Online පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික අංශයේ සියලුම දුර ගමන් බස් රථ ඒකාබද්ධ කර එකම පද්ධතියක් යටතට පත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී මගීන්ට ජංගම දුරකථන යෙදුමක් හෝ වෙබ් අඩවියක් ඔස්සේ තමන් යාමට අපේක්ෂිත ගමනාන්තය, වේලාව සහ කැමති ආසනයක් තෝරාගෙන මුදල් ගෙවීමට පහසුකම් සැලසෙනු ඇත.
මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ මගීන්ට බස් රථය පවතින ස්ථානය සහ ලබාගත හැකි ආසන සංඛ්‍යාව එසැණින් දැනගැනීමට හැකි වන බැවින් වඩාත් විනිවිද පෙනෙන සේවාවක් නිර්මාණය වේ. ලංගම සහ පෞද්ගලික බස් රථ දෙඅංශයම එකම පද්ධතියකට ඇතුළත් කිරීම මගින් අනවශ්‍ය තරඟකාරීත්වය අවම කර මගී සේවාව විධිමත් කිරීමට ද අපේක්ෂිතය. මගීන්ට බැංකු කාඩ්පත්, QR කේත හෝ රීලෝඩ් මධ්‍යස්ථාන හරහා ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර එමගින් ආසන වෙන් කිරීමේදී අතරමැදියන් විසින් සිදුකරන අක්‍රමිකතා සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව දුර ගමන් සේවා පවත්වාගෙන යන සියලුම බස් රථ සඳහා GPS තාක්ෂණය අනිවාර්ය කරන බවත්, එමගින් බස් රථ නියමිත කාලසටහනට ධාවනය කරන්නේද යන්න අමාත්‍යාංශ මට්ටමින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














