දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩු විභාගය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. නාමල් බලල්ලේ සහ මහේන් වීරමන් යන විනිසුරුවරුන්ගේ සේවය අවසන් වීම හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ නතර වී තිබූ මෙම නඩු විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
මෙම නඩුව ඊයේ (04) කොළඹ විජේරාම මාවතේ ස්ථාපිත කර ඇති විශේෂ අධිකරණ ශාලාවකදී කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ල විසින් අදාළ නඩුව මැයි මස 08 වැනිදා සිට සතිපතා විභාගයට ගැනීමට නියෝග කර තිබේ. එමෙන්ම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මීළඟ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත. 2010 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.















