පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූ විජේගේ TVK පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ඇති අතර, මේ වන විට ප්‍රාන්ත රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය ලබා ගැනීමට එම පක්ෂය දැඩි උත්සාහයක නිරත වේ. මැතිවරණ ප්‍රතිඵල අනුව බහුතරය සඳහා අවශ්‍ය ආසන ගණනට වඩා ආසන 10ක් අඩුවෙන් පවතින බැවින්, ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් මහතා හමුවී රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂය අවසර ඉල්ලා ඇත.
මෙම දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කිරීමට විජේ අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානය බලා පිටත්ව ගිය අතර, නව රජයක් පිහිටුවීම සඳහා සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. දැනට පවතින වාර්තා අනුව කොංග්‍රස් පක්ෂය සහ PMK පක්ෂය TVK ප්‍රමුඛ රජයකට සහාය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, ඒ වෙනුවෙන් අමාත්‍ය ධූර දෙක බැගින් ඉල්ලා සිටින බව පැවසේ.
මෙම මැතිවරණයේදී මුළු ආසන 234කින් ආසන 108ක් TVK දිනා ගත් අතර, DMK පක්ෂය ආසන 59ක් සහ AIADMK පක්ෂය ආසන 47ක් වශයෙන් අනෙක් ස්ථාන හිමි කර ගත්තේය. තමිල්නාඩු දේශපාලනයේ ප්‍රබල පෙරළියක් සිදු කරමින් විජේගේ පක්ෂය බහුතරය සපුරාගෙන බලය අල්ලා ගනීද යන්න මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.















